පමාරා ගැන දුන් ඔත්තුවේ දසලක්ෂයට කුලල්කාගනිති

Posted by Unknown on Tuesday, September 23, 2014 |


ගනේවත්ත අඹකොළවැව පමාරා කේෂාණි දැරිය පැහැරගෙන යාමෙන් පසුව ඇය පිළිබඳව තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට ලබාදෙන බවට පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළ රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදල ලබාදීම සම්බන්ධව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තාවේ.

එම ත්‍යාග මුදලට දෙදෙනෙකු හිමිකම් පෑමට ඉදිරිපත්වීම මෙම ගැටලූකාරී තත්ත්වයට හේතුවී තිබේ. පමාරා දැරිය සගවාගෙන සිටි නිවසේදී ඇය පළමුවෙන්ම අදුනාගෙන ඒ බව පොලිසියට දැනුම් දී තිබෙන්නේ නෙරියාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන නිමල් ජයසූරිය නැමැත්තාය. 


දැරිය හදුනාගෙන ඔහුගේ වෙළදසලට ගෙනගොස් ඒ බව දැනුම්දී දැරිය පොලිසියට බාරදී තිබුණේ මොහු විසින්ය. ඒ බවට තමන්ගෙන් ප‍්‍රකාශ පවා ලබාගෙන තමන්ට රහස් පොලිසියේ නිලධාරීන් විශේෂ ස්තුතියක් පවා කළ බව ජයසූරිය මහතා පැවසීය.

නමුත් පමාරා දැරිය තම සොයුරාගේ නිවසේ සිටින බව ව්‍යාපාරිකයාට පළමුවෙන් දැනුම්දී තිබුණේ ප‍්‍රධාන සැකකාර ග‍්‍රීස් ගාමිණී නමැ්තාගේ වැඩිමල් සොයුරකු වන චමින්ද නමැත්තා බැවින් ඔහුද ලක්ෂ 10 ක ත්‍යාගය බලාපොරොත්තුව සිටින බවද වාර්තා වේ.

දැරිය සගවා තැබීමට ආධාර හා අනුබලදීමේ චෝදනාව මත චමින්ද නමැත්තා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණද පසුව ඔහු මුදා හරිනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන නෙරියාව ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කළේ චමින්ද නමැත්තාගේ දියණිය පැහැරගෙන එනු ලැබු දැරිය සමග දිනක පමණ කාලයක් එම නිවසේ සෙල්ලම් කරමින් සිටියදී ඔහු ඒ බව නොදැන්වූයේ ඇයිද යන්න ගැටලූවක් වන බවය. ඒ අනුව ඔහුද මෙයට සහාය දී ඇති බව පෙනී යන බව පවසන ප‍්‍රදේශවාසීහු චමින්ද නමැත්තාට තෑගි මුදල ලබාදුනහොත් ඊට දැඩි විරෝධය පළකරන බවද පැවසූහ.

මේ පිළිබදව කළ විමසීමකට පිළිතුරු දෙමින් ව්‍යාපාරික ජයසූරිය මහතා පැවසුවේ දැරිය සොයාගැනීමේ සිද්ධියේ වීරයා තමන් බවද දරුවා සොයාගැනීමට අදාළ ත්‍යාග මුදල තමන්ට හිමිවිය යුතු බව රහස් පොලිසියේ නිලධාරියෙකු පැවසූ බවය.

එම ත්‍යාග මුදල තමන්ට ලබා නොදෙන්නේනම් එය දැරිය පැහැරගැනීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුගේ සොයුරාට නොදී ස්ථීර නිවෙසක් නොමැතිව සිටින පමාරා දැරියගේ මව්පියන්ට නිවෙසක් සාදා ගැනීම සදහා ලබාදීම කළ යුතු බවද ජයසූරිය මහතා පැවසීය.


Last Updates

Most Popular